"වෙන යන්න දිහාවක් ඇත්තෙම නැද්ද ?"
ඕක තමා මම යාපනේ යනව කියල කිව්වම බොහෝ දෙනෙක් කිව්වෙ. A9 පාර ඇරල ටික දවසක් වුනාට ඒ අවසරේ පාවිච්චි කලේ බොහෝ දුරට යාපනේ මිනිස්සු විතරයි. සිංහල තියා ගොඩක් කොලඹ දෙමල මිනිස්සුත් යාපනේ ගැන බැලුවේ යම්දෝ නොයම්දෝ කියල. ඉතින් සිංහල වෙච්ච මම යාපනේ යන එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් උනා. අම්මයි තාත්තයි උනත් කැමැත්ත දුන්නෙ එපා කියල මාව නතර කරන්න බැරි හින්ද වෙන්න ඕනෙ.
තනියම යන්නනම් කම්මැලියි. ඒ නිසා කතා කලා ඇන්ඩෲට. මිනිහත් ඉතින් රස්තියදුවෙ යන්නනම් එවරෙඩි. කොහොමෙන් හරි අපි දෙන්නම රෑ 10 වෙනකොට ඉසිපතනෙ ගාව බස් පටන් ගන්න පොට් එකට ආව. අප්පා මිනිස්සු පිරිල. කලින් ටිකට් බුක් කරල තිබ්බ නිසා හොඳයි. බස් දෙකක්ම තිබ්බ. තඩි ටුවරිස්ට් බස් දෙකක්. අපි ඉස්සරහ සීට් එක අල්ලගත්තා. එතන තමා වටපිටාව හොඳටම පේන තැන. ඔක්කොම වාඩි උනාට පස්සෙ මනුස්සයෙක් ආව ඇපල් බාස්කට් එකකුත් අරන්. අර පිටකොටුවේ එහෙමත් එන්නෙ කට්ටිය එක එක විකාර අරගෙන විකුණන්න. මේ මනුස්සය ඇපල් බාස්කට් එක දික්කරා අපිට. අපි ඉතින් එපා කිව්ව. ඒ මනුස්සයා අමුතු විදියට අපි දිහා බලල පස්සට ගියා. නිකමට වගේ මම පස්ස හැරිල බලනකොට මෙන්න බොලේ මේ යකා මිනිස්සුන්ට ඇපල් බෙදනව නිකන්. මේ ඇපල් දෙන්නෙ නිකන්. අපි හිතුවෙ සල්ලි වලට කියල. ඒකයි එපා කිව්වෙ. අපි දෙන්න බලන් හිටිය ආපහු එනකොට ඉල්ලගන්න. අනේ අවාසනාවක මහත. ආපහු ආවෙ හිස් බාස්කට් එක. පැය 3-4 ක් යනකම් ඇන්ඩෲ නාහෙන් ඇඞුවා අපරාදෙ ඇපල් ගෙඩිය කියල. මුලින්ම නවත්තන තැනින් ඇපල් ගෙඩියක් අරන් දෙන්නම් කියල නලව ගත්තෙ.
11 විතර වෙද්දි අපි ගමන පටන් ගත්තා. මහ රෑනෙ. කියන්නවත් බලන්නවත් දෙයක් නෑ. අපි දෙන්න රටේ නැති වල්පල් කතා කර කර ගියා. අපි මුලින්ම නැවැත්තුවේ පුත්තලමේ. අත්‍යාවශ්‍ය කාරණා සම්පූර්ණ කරල එහෙම අපි ගත්තා පොඩි බඩගින්නට සුපර් මන්චී චොක්ලට් පෆ්. අපි ඉතින් අපේ පාඩුවේ එකත් කකා ගියා. එහෙන් මෙහෙන් සැරින් සැරේ දෙන්නම කිරුවා යහමින්.
අනුරාධපුරේ පහුකරපු ගමන් වටපිටාව හරිම ලස්සනයි. එලියත් වැටිල නිසා අපි කැමරා එහෙම එලියට අරගෙන ෆොටෝ ගන්න පටන් ගත්තා.
ඒ කාලය ආයේ පතමි !
6 years ago
අනේ... මං මේක දැන් නේ දැක්කේ.. මම යාපනේ යන්න හරීම ආසාවෙන් ඉන්න කෙනෙක්.. අපේ මුචා මල්ලිත් ලගදි ගිහින් තිබ්බා... මේ විදියට අඩියෙන් අඩිය විස්තරයක් අහන්න ලැබෙන එක නම් ශෝක්.. මොකද මම උතුරු පැත්තට අනුරාධපුරෙන් එහාට ගිහින් නෑ..
ඇයි අර ඇපල් නිකං දෙන්නේ? දංසැලක් වගේ එකක් ද?