වවුනියාවේ ඉඳන් යාපනයට යන්නෙ බස් ඔක්කොම එකට. ඔක්කොම බස් 23ක් තිබ්බා. හැම බස් එකකටම එක හමුදා නිලධාරියෙක් ගානෙ දානව. මම හිතන්නෙ අතර මගින් කව්රු හරි නගී කියල වෙන්න ඇති. පාර හොඳයි කියන්න තරම් වරදක් නෑ. එතන ඉඳන් හරියට බන්කර් තියෙනවා පාර දෙපැත්තෙම. මේ බන්කර් හරි විශේෂයි. ඒව හදල තියෙන්නෙ අමුතු අමුතු විදියට. හරි කලාත්මකයි. බැහැල ෆොටෝ ගන්න තිබ්බනම් ශෝක්. මොනා කරන්නද බහින්න දෙන්නෙ නෑනෙ.

පාර දෙපැත්තම හමුදාවෙන් සුද්ද කරනවා. පාරවල් ඔක්කොම වගේ හදල අලුතින්. ඒ පාරවල් දෙපැත්තේ කෑගල්ල, වරකාපොල වගේ කොලඹ - නුවර පාරෙ හම්බවෙන නගර වල නම් ගහල තිබ්බ. මොකෝ කියලනම් මම දන්නෙ නෑ. ඒ මදිවට සමහර පාරවල් වලටත් ගහල තිබ්බෙ මහ අමුතු නම්. "දොල ලඟ ගුරු පාර" වගේ නම්.

අතරමගදි හම්බ වෙනවා හමුදාවෙන් කරන කෑම කඩයක්. ඒකෙ නැති දෙයක් නෑ. අනිත් පෞද්ගලික වෙලඳ සැල් වගේ නෙමේ මේකෙ හැම දෙයක්ම ලාබයි. කෑමත් උණුවෙන් හම්බ වෙනවා. වැසිකිලි, කැසිකිලි එහෙම හොඳ පිරිසිඳුවට තියෙනවා.

ඊලඟට හම්බවෙනවා කිලිනොච්චිය. අර එක මී හරකෙක් කිව්ව වගේ මැදවච්චිය නෙමේ. ඇත්තම කිලිනොච්චිය. කොටින්ගේ ඩිෆැක්ටෝ කැපිටල් එක. බැලුවම මාර දුකයි. ගොඩනැගිලි ඔක්කොම නිකන් පෙනේර වගේ. කිසිම ගොඩනැගිල්ලක් ඉතුරු වෙලා නෑ. හොස්පිටල් එක විතරයි ඉතුරු වෙලා තිබ්බෙ.

ගස් කොලන් වල වෙනස් වීම දැන් ටික ටික පේනවා. පොල් ගස් අඩු වෙලා තල් ගස් වැඩි වෙනවා. තාමත් අපි යාපන අර්ධද්වීපයට ගියේ නෑ. ප්‍රධාන ගොඩබිම යාපන අර්ධද්වීපයට සම්භන්ධ වෙන්නෙ අලිමංකඩදි. පාමංකඩ නෙමේ හොඳේ. අලිමංකඩ හරිම ලස්සන තැනක්. ඒ උනත් අවාසනාවට ඉතින් නැවතිලා බලන්න හම්බ වෙන්නෙ නෑ.

යාපන අර්ධද්වීපය හරිම සාමාන්‍යයි. හමුදාවෙන් පේන්න හිටියේ නැත්නම් මෙහෙ යුද්ධයක් තිබ්බ කියලවත් හිතන්න බෑ. කොහොම හරි අපි යාපනේ ටවුන් එකට එනකොට 3.30 විතර උනා. අපේ යාලුවා අශාන් ඒ වෙනකොට එතනට ඇවිත් හිටියා.

Read More
Posted by ත‍රිඳු on Friday, January 22, 2010

යාපනේ ට්‍රිප් එකේ කට්ට මුලින්ම පටන් ගත්තේ මැදවච්චිය හරියෙ විතර. අර කිලිනොච්චියෙ යනව කියල ගිය මැදවච්චිය.. අන්න එහේ. පලවෙනි චෙක් පොයින්ට් එක. අපි ඔක්කොම බැස්ස. ඔක්කොම බෑග් අරගෙන පෝලිමේ එන්න කිව්වා. අනේ ඉතින් රට අතැර යනවා වගේ සබ්බ සකල මනාවම කද බැඳ ගත්තු ආච්චිල සීයල අමාරුවෙන් අමාරුවෙන් ඔක්කොම උස්සගෙන ගියා. එතන හැම දෙනාම ලියා ගන්නවා. රෙජිස්ටර් කොරනවලු. මමත් ඉතින් පෝලිමේ හිටියා. මගේ අයිඩෙන්ටි කාඩ් එක බලපු හමුදාවෙ අය්යා මගේ හිස මුදුනේ සිට දෙපතුල වෙනතුරු දෙතුන් පාරක් බැලුවා. පස්සෙ එයා ලඟ හිටිය සීනියර් ඔෆිසර් කෙනෙක්ගෙන් අහනවා;

"මේ නම තියෙන අයවත් ලියා ගන්නවද ?"

මොකෑ...... මේ නම ? මගේ නමේ මොකද්ද තියෙන අමුත්ත ? මගේ නම තියෙන ඇමති කෙනෙක්වත් ඉන්නවද දන්නෙ නෑ. අපේ ඇමති මණ්ඩලේ සයිස් එකේ හැටියට ඉතින් ඒකත් වෙන්න බැරි නෑ. ඔය ඉන්න එකසිය ගානම අපි දන්නෙ නෑනෙ. පස්සෙ බැලුවම කේස් එක මම සිංහල නිසා. මිනිහට අප්සට් හිතෙන්න ඇති ඔක්කොම දෙමල අය ඉස්සරහා සිංහල අය ලියාගන්න ඕන නැති බව කියන්න.

කෙසේ වෙතත් එච්චර අවුලක් නැතුව චෙක් කරල ඉවර උනා. එතනින් පස්සෙ පාර නම් පිස්සු හැදෙනවා. කියල වැඩක් නෑ. මේ වගේ පාරවල් හදන්න බැරි ඇයි ලංකාවෙ අනිත් තැන් වල. ඊලඟ චෙක් එක වවුනියාවේ. ආයෙත් සබ්බ සකල මනාව කර තියාගෙන චෙක් පොයින්ට් එකට ගියා.

MILK FATHER DOG JUMPING (කිරි අප්පට බල්ලො පැනපි) මිනිස්සු තොගේ. අඩුම තරමෙ 10000 ක් වත් එතන. පෝලිම තියෙනවා හැතැම්ම ගානක් දිගට. කොහොම නමුත් අපේ බස් එකේ ආපු අයට මහ ලොකු පෝලිමක ඉන්න උනේ නෑ. (සුඛෝපභෝගී බස් රථයක් නිසා වෙන්න ඇති) වෙනම පෝලිමකින් ඇතුලට ගියා. ඒ උනාට ඇතුලෙ ඉන්න උනා හෙන වෙලාවක්. අපිට ඇහුන කව්ද මන්ද කියනවා අයිදෙන්ටි කාඩ් එකේ ෆොටෝ කොපි දෙකක් ඕන කියල. මලා අපි ගෙනාවෙ එකයි. ඇන්ඩෲව යැව්ව ලඟ තිබ්බ තැනකින් වැඩේ කරගෙන එන්න. මිනිහ ඉතින් දෙමල නෙ. මම ගිහින් මේ මිනිස්සුත් එක්ක කතා කරන්නවත් බෑනෙ.


ඇන්ඩෲ වැඩේ කරගෙන එනකන් මම ඉතින් වයසක අංකල්ලා, ඇන්ටිලා එක්ක කතා කර කර හිටියා. ඔය අතරේ තමා මම දැක්කේ එතන ගහල තිබුන සමහර බෝඩ්.

"WEITIN ARIA" - මම හිතන්නෙ ඒ කියන්නෙ WAITING AREA කියන එක. තව ඔයවගේ ගොඩක් තිබ්බ. අනේ අනිච්චං.

මිනිස්සු දාඩිය පෙරාගෙන බලාගෙන ඉන්නවා. එතනත් රෙජිස්ටර් වෙන්න ඕනෙ. දස දහස් ගණනක මිනිස්සු රෙජිස්ටර් කරන්න ඉන්නේ 4 දෙනයි. රෙජිස්ටර් කලාට පස්සෙ චෙක් කරන්න ඉන්නේ දෙන්නයි. අනේ අපේ මිනිස්සු තව පොඩ්ඩක් කල්පනා කරල වැඩ කරනවනම්.

කොහොම හරි පැය එකහමාරක් බලන් ඉඳල අපේ වාරෙ ආව. මොනාද මේ අය ලියා ගන්නෙ ? නම අහනවා, පදිංචිය අහනවා, යනෙ කොහෙද අහනවා. ඊට පස්සෙ ලියා ගන්නවා. මම නිකමට වගේ ලියන පොත දිහා බැලුවා. මොකද්ද ඒ භාෂාව ? ඉරි කෑලි. නිකම්ම නිකන් ඉරි කෑලි. මේ ඒ මනුස්සයගේ අකුරු වල නොපැහැදිලි කම ගැන කරන අතිශයෝක්තියක් නෙමේ. ඒවා නිකම්ම නිකන් සරල රේඛා. අපි පැය ගානක් දුක් වින්දේ ඒකටද ?

කොහොම හරි එතන ඉරි කෑලි රෙජිස්ටර් කරල අපි යන්තම් එලියට ආවා. එතන හිටපු මිලිටරි පොලිස් අය්ය කෙනෙක් අපෙන් ඇහුව;

"මොන මගුලකට කට්ට කන්න ආවද බන්, තව මාසෙකින් ආවනම් මේ කරදර එකක්වත් නෑ."

අපි මුකුත් නොකියා හිනා වේගෙන යන්න ගියා. වවුනියාවේ සිට යාපනයට ඊලඟ කොටසින් බලාපොරොත්තු වෙන්න.

Read More
Posted by ත‍රිඳු on Friday, December 18, 2009


"වෙන යන්න දිහාවක් ඇත්තෙම නැද්ද ?"

ඕක තමා මම යාපනේ යනව කියල කිව්වම බොහෝ දෙනෙක් කිව්වෙ. A9 පාර ඇරල ටික දවසක් වුනාට ඒ අවසරේ පාවිච්චි කලේ බොහෝ දුරට යාපනේ මිනිස්සු විතරයි. සිංහල තියා ගොඩක් කොලඹ දෙමල මිනිස්සුත් යාපනේ ගැන බැලුවේ යම්දෝ නොයම්දෝ කියල. ඉතින් සිංහල වෙච්ච මම යාපනේ යන එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් උනා. අම්මයි තාත්තයි උනත් කැමැත්ත දුන්නෙ එපා කියල මාව නතර කරන්න බැරි හින්ද වෙන්න ඕනෙ.

තනියම යන්නනම් කම්මැලියි. ඒ නිසා කතා කලා ඇන්ඩෲට. මිනිහත් ඉතින් රස්තියදුවෙ යන්නනම් එවරෙඩි. කොහොමෙන් හරි අපි දෙන්නම රෑ 10 වෙනකොට ඉසිපතනෙ ගාව බස් පටන් ගන්න පොට් එකට ආව. අප්පා මිනිස්සු පිරිල. කලින් ටිකට් බුක් කරල තිබ්බ නිසා හොඳයි. බස් දෙකක්ම තිබ්බ. තඩි ටුවරිස්ට් බස් දෙකක්. අපි ඉස්සරහ සීට් එක අල්ලගත්තා. එතන තමා වටපිටාව හොඳටම පේන තැන. ඔක්කොම වාඩි උනාට පස්සෙ මනුස්සයෙක් ආව ඇපල් බාස්කට් එකකුත් අරන්. අර පිටකොටුවේ එහෙමත් එන්නෙ කට්ටිය එක එක විකාර අරගෙන විකුණන්න. මේ මනුස්සය ඇපල් බාස්කට් එක දික්කරා අපිට. අපි ඉතින් එපා කිව්ව. ඒ මනුස්සයා අමුතු විදියට අපි දිහා බලල පස්සට ගියා. නිකමට වගේ මම පස්ස හැරිල බලනකොට මෙන්න බොලේ මේ යකා මිනිස්සුන්ට ඇපල් බෙදනව නිකන්. මේ ඇපල් දෙන්නෙ නිකන්. අපි හිතුවෙ සල්ලි වලට කියල. ඒකයි එපා කිව්වෙ. අපි දෙන්න බලන් හිටිය ආපහු එනකොට ඉල්ලගන්න. අනේ අවාසනාවක මහත. ආපහු ආවෙ හිස් බාස්කට් එක. පැය 3-4 ක් යනකම් ඇන්ඩෲ නාහෙන් ඇඞුවා අපරාදෙ ඇපල් ගෙඩිය කියල. මුලින්ම නවත්තන තැනින් ඇපල් ගෙඩියක් අරන් දෙන්නම් කියල නලව ගත්තෙ.

11 විතර වෙද්දි අපි ගමන පටන් ගත්තා. මහ රෑනෙ. කියන්නවත් බලන්නවත් දෙයක් නෑ. අපි දෙන්න රටේ නැති වල්පල් කතා කර කර ගියා. අපි මුලින්ම නැවැත්තුවේ පුත්තලමේ. අත්‍යාවශ්‍ය කාරණා සම්පූර්ණ කරල එහෙම අපි ගත්තා පොඩි බඩගින්නට සුපර් මන්චී චොක්ලට් පෆ්. අපි ඉතින් අපේ පාඩුවේ එකත් කකා ගියා. එහෙන් මෙහෙන් සැරින් සැරේ දෙන්නම කිරුවා යහමින්.

අනුරාධපුරේ පහුකරපු ගමන් වටපිටාව හරිම ලස්සනයි. එලියත් වැටිල නිසා අපි කැමරා එහෙම එලියට අරගෙන ෆොටෝ ගන්න පටන් ගත්තා.

Read More

මේ මම

APIIT (Asia Pacific Institute of Information Technology)එකේ අවසන් වසරේ ශිෂ්‍යයෙක්. කියවීම වගේම ලිවීමත් මගේ විනෝදාංශ. ඊට අමතරව මම රට වටේ ලෝකෙ වටේ ඇවිදින්නත් කැමතියි. මම සමාජ විද්‍යාව, දර්ශනවාදය සහ බුදුදහම ගැන මගේ අවධානය වැඩියෙන් යොමු කරනවා.

නිතර යන එන අය